Saturday 7th of March 2026

English Tamil
Advertiesment


සහතික මිල අමු බොරුවක් - වී ගන්නේ 70ට 80ට


2026-03-06 1225

 

රජයට ප්‍රමාණවත් ගබඩා ඇත්තෙත් නෑ 

 

- ගොවි ගැටළු රාශියක් විපක්ෂ නායක රජයට පෙන්වා දෙයි -

 

අද වන විට අප රටේ වී ගොවියන් වගා කටයුතු සිදු කරන්නේ ලාභ උපයන ජීවන වෘත්තියක් වශයෙන් නොව හුදෙක් ජීවිතය රැකගැනීම සඳහා කරන අරගලයක් ලෙස බවත් වගාවට පෙර, වගාව අතරතුර ණය බරින් මිරිකෙන ගොවියා අස්වැන්න නෙළා ගත් පසු රජය පොරොන්දු වූ සහතික මිල ලබා ගත නොහැකිව අස්වැන්න අඩුමිලට අතරමැදියන්ට විකුණා දමන බවත් වන අලි මිනිස් ගැටුම වන සත්ව මිනිස් ගැටුම නිසා වගා හානි සිදු වන නමුත් මේවාට විසඳුම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2025 යල කන්නයේදී රජය මිල දී ගත් සමස්ත වී ප්‍රමාණය සහ ඒ සඳහා වැය කළ මුදලත්, එම ප්‍රතිපාදන වෙන් කළේ අයවැය මගින් ද නැතහොත් ණය පහසුකම් හරහාද කියා ඉදිරිපත් කර එසේ මිල දී ගත් වී තොග මේ වන විට වෙළෙදපොළට ඉදිරිපත් කර ඇත් ද නැත්නම් දීර්ඝ කාලීනවගබඩා කිරීම නිසා හානි වීම නිසා රජයට මූල්‍ය පාඩුවක් සිදුව ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වයන් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

2025, 2026 මහ කන්නය සඳහා වී මිල දී ගැනීමේ රජයේ අපේක්ෂිත ඉලක්කය මෙන්ම ඒ සඳහා රජය සතු ගබඩා ධරිතාව ප්‍රමාණවත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එසේ ප්‍රමාණවත් නොවන්නේ නම් අතිරේක ගබඩා පහසුකම් කුලියට ගැනීමට අතිරේක මහජන මුදලක් වැය කිරිමට අපේක්ෂා කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ වන විට නැගෙනහිර, රජරට ප්‍රදේශයේ වී අසවනු නෙලුවත් වී මිල දී ගන්නේ රු. 70ට 80ට නමුත් රජය පොරොන්දු වූයේ රු. 120ට බවත් රජය ප්‍රකාශ කළ ආකාරයට වී මිල දී ගැනීමේ දී කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහන දෙනවා කිව්වත් එය සිදු වූයේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ වන විට රජය මිල දි ගෙන ඇති වී ප්‍රමාණය ඉලක්ක ගත වී ප්‍රමාණයෙන් කොපමණ ප්‍රමාණයක් ද කියා ඉදිරිපත් කරන ලෙසත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

රජය වී රු. 120 මිලදී ගන්නවා යැයි කිව්වත් ගොවියාට ලැබෙන්නේ රු. 70ත් 80ත් අතර මුදලක් බවත් මේ පරතරය ගැන රජයේ ප්‍රතිචාරය ඉදිරිපත් කරන ලෙසත් මහ කන්නයේ සහතික මිල තීරණය කිරීමේ දී ගොවියාගේ සැබෑ නිෂ්පාදන මිල ගණනය කරන සූත්‍රය ඉදිරිපත් කරන ලෙසත් ගොවියාට ලාභයක් ඉතිරි නොවන මිලක් සහතික මිල ලෙස හැඳින්වීම ජනතාව මුලා කිරීමක් බවත් යෙදවුම් මිල ඉහළ යාම, පෙහොර රසායන පොහොර මිල පහල යාම ආදිය සිදුවන නිසා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුවිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රු. 120 සහතික මිල ලබා දෙන්න විෂය භාර අමාත්‍යවරයා තවත් වසර 2ක් යන බව පැවසීම සත්‍යයක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි.

තවද වර්ෂාව රෝග හා පෝෂණ ඌනතා නිසා අහිමිවන අස්වැන්න උපකල්පනය කර ඇත් නම් එය ඉදිරිපත් කරන ලෙසත් එම අඩුව ජාතික සහල් සැපයුමට බලපාන ආකාරය ගැන රජයේ ඇගයිම ඉදිරිපත් කරන ලෙසත් රජයට සතු ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධ සැලසුම ඉදිරිපත් කරන ලෙසත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ මැදපෙරදිග තත්ත්වය නිසා මේ යෙදවුම්වල මිල ඉහළ යන නිසා ගොවියාට ඉහළ ස්ථාවර මිලක් ලබා දිය යුතු බවය.

Advertiesment